Friday, December 26, 2014

ආදරණීය ත්‍රිමා ගැන හෘදයාංගම සටහනක්.

මුලින්ම මම සමාව ඉල්ලනව මේකෙ මුල් අයිතිකරුගෙන්. මෙය "අන්තර්ජාලයේ බ්ලොග් අඩවියක ත්‍රිමාවිතාන සොයුරා පිළිබදව පළවී තිබුණු හෘදයංගම සටහනක්" ලෙස සඳහන් කර මාගේ FACEBOOK පිටුවේ පෙන්වුවා. ඒක කියෙව්වම, මතක ඇති කාලෙක ඇස් වලින් කඳුළක් වැටුනෙ නැති මගේ ඇස් වලින් කඳුළු ආවම, මේක තවත් අයෙක් කියවන්නෙ නැතුව හිටියොත් මහා පාපයක් වෙන නිසා තමයි මම මේක දාන්න තීරනය කරේ. 
ඉතින් අපි දැන් මේ ඉගන ගන්න, උසස් අධ්‍යාපනය ආරක්ෂා කරපු "ත්‍රිමා" ගැන කියවෙන මේ සටහන, ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගන්න අපි දැනගෙන ඉන්න ඕන කියන එක තමයි මගේ හැඟීම.


...................................................................................
අතීතයෙන් බිඳක්.......
ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයයි.
දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද, කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කරගත නොහැකිවිය.

පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ. ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි.
රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි.

රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි.
අයියා මේ වන විට කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි. නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වලමුල්තැන ගත්තේ අයියායි.
ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය.

සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙ අපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි.
තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වාතාවරණය නිසාය.

මා ක්ෂණයකින් ඉදිරි දොර වෙත ගොස් එය විවෘත කරන ලදි.යම් පැහැදිලි කිරීමක් කරන ලද අතර මා අයියාගෙන් ගෙට ගොස් ඒ පිළිබදව විමසීමි.අයියා ඉදිරියට පැමිණ ඔහුට ගෙට එන්නට ආරාධනා කලේය.
ප්‍රමාණයෙන් ඉතා කුඩා කළු පැහැපත් සමකින් යුතු තීක්ෂන දෙනයනකින් හෙබි මේ පුද්ගලයා අපේගෙදර සාලයේ තබා තිබු රතුපාට කුඩා කුෂන් පුටුවක වාඩි ගත්තේය.

හේ නමින් පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය.
ඉන්පසු එළැඹියේ තාත්තාගේ ප්‍රශ්න වලට පිලිතුරු දීමේ වාරයයි.නොයෙකුත් ප්‍රශ්න රාශියක් තාත්තා විසින් අසන ලද අතර ඉතා සංයමයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ලදි.
ඉන්පසු අයියා සමග ටැංකිය ලඟට ගොස් නා ෂර්ට් එක සෝදා ගෙයිම වැනූ ඔහු රාත්‍රි ආහාර ගෙන නින්දට වැටුනේය.
පාන්දරින් අවදිවි යන්නට සැරසෙද්දි තාත්තා ඔහු අත මුදලක් තැබූ බව මට මතකයේ ඇත.ඒවිතරක්ද නොවෙයි දවල්ට කන්නේ නැති බව පැවසීම නිසා දවල් ආහාරයට බත් මුලක්දබැද දුන්නා මට මතකයි.
ඉන්පසු හැමදාමත් මේ විදියට රාත්‍රි ඔහුගේ නවාතැන් පොල වූයේ මගේ නිවසයි.

මගේඅම්මා නිතරම අසනීපයෙන් පසු වූ නිසා ගෙදොර ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මාඅතිනි.මා උයන විට කුස්සියට පැමිණ මා කතාවට අල්ලා ගන්නා ඔහු හැමවිටම හොඳින් ඉගෙන ගන්නා ලෙස පැවසීය.
විටෙක මා පිසින කරවල කෑල්ල විශාල වැඩි බව පවසන ඔහු තවත් වේලකට එය පිරිමසා ගතහැකි බව පවසයි.

හැමදාමත් දවාලට බත් මුලක් බැඳ දුන් අතර රාත්‍රියේ පැමිණි පසු ලොකු නංගියෙ අද බත් එක නම් රසයි කියා පවසයි.
එහෙත් දිනක් අපේ ගෙදරට තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර ඔහු තාත්තා සමඟ ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදි.ඉන්පසු තාත්තා අයියාව ගෙදරි පිටත් කර හරිනුලැබීය.
රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙන තැනක් නැත.ඔහු දිගටම අපේ ගෙදර ආවේය.දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී මම තාත්තා සමඟ බහින් බස්වූයෙමි.
තාත්තා පැවසුයෙ අම්මාගෙ අසනීපය නිසා උයන්නට කෙනෙකු නොමැති බවකි.

එහෙත් එය මට කල හැකි බවත් ඔහුට තව දුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත් මා පියාගෙන් ඉල්ලු අතර,ඒ සඳහා අවසරය ලැබුණි.
ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නාවාතැන් ගත්තේය. රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අදින ඔහු එක කොළයක් හෝ අපතේ නොයවයි.
අපි ඒ දෙස බලා සිටින්නෙ පුදුමයෙනි.එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය.අපි කොළයක් ඉල්ලුවොත් කියන්නෙ නාස්ති කරන්න කොළ දෙන්න බැ කියලයි.

එක්දිනක් අපේ තාත්තා ඔහුට කලිසමක් මසා ගන්නට කලිසම් රෙද්දක් දුන්නේයි.එදින ඔහු අපේ තාත්තාගේ දෙපතුල් අල්ලා වැද සමුගත්තේය.කලිසමේ සාක්කුවේ අඩිය හොදටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි.
කාලය ගෙවී ගිය අතර රටේ තත්වය ඉතාම බිහිසුණු විය.ඒත් ඔහුට අපේ නිවස ආරක්ෂිත විය.

එක් දිනක් ගෙදර පැමිණි ඔහු උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නට සැරසුණි.කකුල් දෙක මාරුවී සපත්තු දෙක දමා ගත්විට නංගිත් මමත් හිනා වුණේ *අනේ දොස්තර මහත්තයට කකුල වැරදිලා*කියලයි,
ඒ වෙලාවේ ඔහු අපි දෙදෙනා දිහා බලාගෙන අහිංසකව සිනාසුනේය.ඒ ඔහුගේ අප දැකි අවසන් සිනාවයි.
ඉන් දිනකට පසු සාහසිකයින් විසින් පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරා ඝාතනය කරන ලදී .නිකම්ම නොවේ*සාහසික ලෙස* ඝාතනය කරන ලදි.
පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය. එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ.
හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි. මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු.

ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාමසඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන්නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයිබියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.
ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.

හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.
මහා ජනකායක් පෝලිම් දිගේ ඇදෙමින් පැවතුණි.ඒ අතරමහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශාල බීම බාල්දියක් උස්සාගෙන ආ ආකාරයමට අද මෙන්ම මතකයේ ඇත.ඔහු එවෙලේ ටීෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටියේය.
එහෙත් ඔහු සමග දොඩන්නට මෙය අවස්ථාවක් නොවේ.පෝලිම දිගේ අපිද වේගයෙන් ඉදිරියට ඇදුනේ ත්‍රිමාගේ දේහය දැක ගැනීමටයි.

එහෙත් ඔහුගේ දෙන අසලට පැමිණි අපි ඉච්ඡාභංගත්වයට පැමිණියෙමු.දේහය දැකබලාගන්නට පැමිණියද ඉතා කුඩා වීදුරු පෙට්ටියක නොපෙනෙන සේ වසා තිබූ දේහය දුටුවිට මට මහා හයියෙන් ඇඩුනේ සිටිය තැනද අමතක වෙමිනි.
වෛද්‍ය සිසුන් පැමිණ අපේ තාත්තාගෙන් බොහෝ දේ විමසන ලදි.ඒ අතර අපිව හොදින් දන්නා අය බොහෝ සිටි අතර *මේ අහවලාගේ නංගිලනේ* කියමින් ඔවුන් අපිව ඇතුලට කඳවාගෙන යන ලදි.
අපි ආපහු ගෙදර එන්නට පිටත් උනේ බොහෝ දුකින් හා කළකිරිමෙනි.බස් රියේකවුළුවෙන් ඉවත බලා ගෙන සිටියද හිත තිබුණෙ ඔහුගේ දේහය වෙතයි.අපි ඇස් වලකඳුලු පිරුණේ නොදැනුවත්වමයි.

රත්නපුරයට පැමිණි පසු ගමට එන බසය නොතිබුණෙන් තාත්තාත් නංගීත් මමත් කිලෝ මීටර අටක පමණ දුර පයින්ම ගමන් කලෙමු.
ගමන ගැන විස්තර අසා සිටි අම්මාද ඇඩුවාය.

ඔහු වෙන තැනක මිය ගියානම් දුකක් නැත.ඔහු මිය ගියේ රත්නපුරයේ වීම මට මහත් දුකක් ගෙන දුනි.
අදටත් මගේ දෑස් පියාගත්විට රාත්‍රියේ ගෙට ගොඩවන ත්‍රිමාව පෙනේ.
පද්මසිරිත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින්අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය.
එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක්කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය.
එහෙත්අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළුවෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක්අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම්කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මටබොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලිගැසුවේ නැත.
පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාරතනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ ඇතැම්විටඅපව සිනහ ගන්වමිනි.

මම කලින් ලිපියක කිව්වා ත්‍රිමා පෝස්ටර් ඇඳපුබවක් ,එය ඔබට මතක ඇතැයි සිතමි.පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා එය තීන්නබාල්දියේ පොඟවා අඳින අකුර කියන්නට බැරි තරම් හැඩය.පොඩ්ඩක් හෝ එහා මෙහාවෙන්නේ නැත.හැඩය වෙනස් වන්නේද නැත.
එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි.අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය.ලස්සන අකුරු වලින් ඔහු පෝස්ටර් සිය ගණනක් අඳින්නට ඇත.
අපේ දුම් ගෙයට සාමාන්‍ය යෙන් ගින්දර දමන්නේ දවාලටයි.රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි.එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි.

ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි.එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු තාත්තා කියු දෙයින් අපි පුදුමයට පත් වීමු.
*ඔය ගොල්ලො දන්නැ ලොකු දුවේ මම ඒ කාලේහිටියෙ පුදුම බයකින්.ත්‍රිමා ගෙදර ඉද්දි හමුදාවෙන් ආවොත් මම මොනවා කරන්නද.මට ත්‍රිමාව පාවල දෙන්නත් බෑ.ඔය ගොල්ලන්ව දෙන්නත් බෑ.මම හැම රෑකම දුම්ගෙයට ගින්දර දැම්මෙ ඇයි කියලා ඔය ගොල්ලො දන්නෙ නැ.හදිසියෙ හමුදාවෙන් ආවොත් ඔය අඳින පෝස්ටර් ටික දුම් ගෙයට දාන්නයි මම එහෙම කලේ කියලා තාත්තා කිව්වා.*

ඇත්තටම තරමක් නිහඬ පුද්ගලයෙකු වු මගේ පියා නගරයේ විදුහලක විදුහල්පතිවරයෙක්.ඔහු සිතා ඇති දුර ගැන සිතන විට දිනක් ත්‍රිමා වෙනුවෙන් තාත්තා සමඟ බහින් බස් වූ ආකාරය සිහිවී මටම ලැජ්ජා සිතුනි.
ඔහුට තිබුණෙ එකම එක සුදු අත කොට කමිසයක් පමණි.සෑම දිනකම රාත්‍රියේ එය සෝදා වේලෙන්නට දමයි.උදේට එය සිතන තරම් වේලි නැති නිසාදෝ හැම දිනකම ස්ත්‍රික්කයට පොල් කටු දමා රත් කර දීමට මට සිදු විය.එහෙත් මා එම කාර්යය කලේ ඇත්තටම හිතේ ඇතිවූ කැමැත්තෙනි.
එහෙත් මා කැමති වූයේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට නොවේ.මා ගරු කලේද ආදරය කලේද එයට නොවේ.

ඔහුගේ ඇති මහත්මා ගතිගුණ වලටයි.ඇත්තටම ඔහු තුල සැඟවි ගත් උදාර මනුෂ්‍ය ගුණය අති මහත්ය.
එය එසේ නොවන්නට අයියාද ගෙදර නැති විටක අපේ ගෙදරට පිරිමියෙකු වද්දා ගන්නට මා නොපෙළඹෙනු ඇත.

ඔහු අප නිවසට පැමිණි දෙවන දිනය මගේ මතකයෙන් කිසිදා අමතකව නොයේ.අපේ ගෙය පහු කර බස් රථය නවත්වන ස්ථානය දක්වාමඔහු ගමන් කර ඇත්තේ වැරදීමකිනි.එතැන් සිට ඔහු පා ගමනින් ම අපේ ගෙදරට එන්නට ආපසු පිටත් වී ඇත.කළුවරේ තනියම පයින් එන අයෙකු දැක අපේ මාමා කෙනෙකු කොහේ යනවාදැයි විමසා ඇත.
අපේ ගෙදරට බව පැවසු පසු ඔහු කාරයෙන් අපේ ගෙදරට කැඳවාගෙන විත් ඇත.ඇත්තටම එවැනි අවස්ථාවක ඔහු පොලිසියට හෝ හමුදාවට කොටු වූයේ නම්............