Wednesday, September 14, 2016

කුහකයෝ, නරි හා හිඟන්නු

කාටත් බැලූ ගමන් කිසි ගැලපීමක් නැති වචන තුනක් තමයි උඩ තියෙන්නෙ. ඒත් මේ වචන තුනෙන් බේරෙන්න බැරි සෙට් එකක් තමයි රජයේ කැම්පස් උං ටික. ඔය පට්ට ගේමක් දී, උසස් පෙල පාස් වී කැම්පස් එකට ඇතුල් වුනු, කැම්පස් පිස්සු #කන්නන් සියල්ලම කුහකයන්, නරි හා හිඟන්නන් වන්නෝය (පෞද්ගලික විශ්ව විද්‍යාල උන් සඳහන් කරන පරිදි).
එය සැබැවින්ම් ඇත්තක්ය. උන් පිස්සු #කන්නන් සෙට් එකක්මය. තමන්ට ලැබෙන බව තහවුරු වූ ඩිග්‍රිය පසෙකින් තබා, මතු උපදින පරම්පරාවේ උං උදෙසා කෑ ගහන්නේ පිස්සු #කන්නන් මිස වෙන කවුද? ත්‍රිමාලා, වෙනුරලා එම පිස්සු පරම්පරාවේ මුල් පුරුක්ය. ඕක ඔය කැම්පස් උංට ලේ වලින් උරුම වෙච්ච එකක්ද කොහෙද.


මං කිව්වෙ, ඔය උංට ලැබෙන දේ ගැන විතරක් හිතන්නෙ නැතුව, අනාගතේ උපදින උං ගැන හිතන එක. ආ.... ඒත් උං කුහකයන්ය. පට්ට කුහකයන්ය. මොකද රජයේ කැම්පස් උංගෙ ඇස් වල කටු ඇනෙනවලු, ප්‍රයිවට් කැම්පස් උං ඩිග්‍රි එක ගත්තම. මේක තදින්ම පටන් ගත්තෙ, සල්ලි වලට වෛද්‍ය උපාධිය දෙන්න පටන් ගත්තට පස්සෙ. ඒ කියන්නෙ සයිටම් එකේ මෙඩිකල් ඩිග්‍රි විකුනන්න පටන් ගත්තට පස්සෙ. 

මොකක්ද මේ අවුල? 
අපි පොඩ්ඩක් කල්පනා කරලම බලමු.

ලංකාවේ මෙතුවක් කාලයක් ළමයි ඉගන ගත්තෙ නිදහස් අධ්ද්‍යාපනයෙනි. දැනටත් එය එසේමය. SAITM,SLIIT,NIBM ඇතුලු අනෙකුත් සියලුම පෞද්ගලික ආයතන වල උසස් අධ්‍යාපනය හදාරන්නවුන්ගෙන් 90% කට වඩා මුලින් ඉගන ගත්තේද නිදහස් අධ්‍යාපනයෙනි. ඉතාම අඩු පිරිසක් පමණක් සම්පූර්ණ පෞද්ගලික අධ්‍යාපනය ලබනෝ වෙති.
ඉතින් මට ඇති ප්‍රශ්නය, අති බහුතරය නිදහස් අධ්‍යාපනයෙන් උස් මහත් වී, ඉන් කොටසක් කාපු පතේ රෙන උං ටිකක් බවට පත් කරන ලද්දේ මොකක් නිසාද යන්නයි. මේ කාපු පතේ රෙන උංගෙන් අති බහුතරය ප්‍රයිවට් ඩිග්‍රි හදාරන්නවුන්ය. ඉතා සුළුතරයක් නිදස් අධ්‍යාපනය හා නිදහස් වෙළඳපොළ වෙනස නොදන්නා මුග්ධයන් ලෙස මම දකිමි. ඇතැම් විට මේ ප්‍රයිවට් ඩිග්‍රි ගන්නවුන් පූර්වෝක්ත මුග්ධ අදහස තම ගැලවුම් කාරයා ලෙස පාවිච්චි කරති.
ඔක්කොටම කලින්, අපි බලමු නිදහස් වෙළඳපොළ හා නිදහස් අධ්‍යාපනය අතර වෙනස මොකක්ද කියලා.  නිදහස් වෙළඳාම යනු; පාරිභෝගිකයන් හා වෙළෙන්දන් රාජ්‍ය මදිහත් වීමකින් තොරව භාණ්ඩ හා සේවා සැපයීම හා ලබා ගැනීමයි. එය මූලික මානව අයිතිවාසිකම් යටත්ට අයත් නොවේ. නිදහස් අධ්‍යාපනය යනු; රටේ සියළුම මිනිසුන්ගෙන් අය කරන බදු මුදල් හෝ අධාර මත පදනම්ව ඔවුන්ගේ අධ්‍යාපනය උදෙසා රටේ සියලු දෙනා සඳහා බලපවත්වන මූලික මිනිස් අයිතිවාසිකමකි.
ඉන්දියාව වැනි රටවල් වල අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් ලෙස සළකමින් විකුණා නිදහස් වෙළඳාම සඳහා විවෘතව ඇත. ඉතින් අපේ උං ඉල්ලන්නේද මෙයමය. එනම් "බෙහෙත් නිකං දෙන රටේ ඉගන ගන්න සල්ලි ගත්තම මොකක් වෙනවාද" යන කාලකණ්ණි අදහසය. 


අපේ රටේ රන් නැත. අපේ රටේ බොර තෙල් නැත. සදාකාලිකවම පහල ආර්ථික මට්ටමක පවතින අපේ රටේ අපට ඇති එකම සම්පත වන්නෙ උපන් නූපන් මතු පරපුර පමණි. ඔවුනට ලෝකය දැකිය හැකි එකම මාර්ගය වන්නේ අධ්‍යාපනයයි.


උඩින් දක්වා ඇත්තේ රටේ ඒක පුද්ගල මාසික අදායම්


ඉහත දක්වා ඇත්තේ ඒක පුද්ගල වාර්ශික ආදායමයි.
  

උඩින් දක්වා ඇත්තේ රටේ ආදායම බෙදී යාමේ විෂමතාවයයි.
මේ දක්වා ඇත්තේ රටේ දුගී බවේ ව්‍යාප්තියයි.

ඉතින් මාගේ මිතුර. මෙකී රටකට හැකියාවක් තිබේද මුදල් ගෙවා තම අධ්‍යාපනය සරි කරගන්නට.

ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික ආදායම [3600/12USD = 300 USD] රුපියල් 40000 ක් පමණ වන අතර ජාතික ආදායමෙන් 38% ට වැඩි ප්‍රතිශතය 10% ක් වන ඉතා ධනපතීන් අතර පවතී. 1.5% ක ප්‍රතිශතයක් පමණක් දුගී ජනයා අතර පවතී. එනම් රුපියල් 20000 ක පමණ මුදලක් මධ්‍යම පාංතිකයන් අතර මාසික ආදායම වන අතර ඉතා දුගී ජනයා සතුව ඇති මාසික ආදායම රුපියල් 10000 ට අඩු බව පැහැදිලිය. එහෙනම් මේ විෂමතාවයත් සමඟ අපේ රටේ ඉරණම වූ ළමා පරපුරේ අනාගතය මුදලට ලඝු කොට හැකිද. මෙය දැන් ඔබට මොළයෙන් මෙන්ම හදවතින්ද උත්තර දිය හැකි දෙයක් යැයි මා සිතමි. 
පෙර කී ලෙසට අධ්‍යාපනය වානිජකරණයට ලක්වුවහොත් ලංකාවේ ඉගන ගන්නට හැකි වන්නේ මුලින් කී 10% ක් දෙනාට පමණක් බව තහවුරුය.
 
ඇත්ත මා මිතුර. ඔබලාට මහ ලොකු සල්ලියක් තිබෙන්නට නුපුලුවන්ය. එහෙත් ඔබලාට යමක් කරගත හැකි මට්ටමේ මුදලක් නොතිබෙන්නට, මෙලෙස වෝක් යෑමට නොහැකිය. එය මා හට සහතිකයෙන්ම කිව හැකිය. මතක තියාගන්න, ඔබලාටත් වඩා අසරණ මිනිසුන් මේ ලංකාවේ සිටිනා බව. උංගේ ජීවිත ගොඩයෑමට ඇති එකම මාර්ගයයි උබල මේ අහුරන්නට දත කන්නෙ. 
ඒ කියන්නෙ, දෙමවුපියන් දුප්පත් වූ පමණින්, ඔව්න්ගේ දරුවන් කාලකණ්ණි වනු ඇත. 
තේරෙන්න කියනව නම්, ගල් තලන බණ්ඩගෙ පුතා සිරිමල්ට ඉගැනීම උචිත නැත. ආරච්චිලාගෙ පුතා විතරක් ඉගනගත්තාම ඇතිය යන පදනමේ උබල කරනම් ගහන්නෙ, ගල් බණ්ඩගෙ පුතා කරන සාපයත් එක අතක තියාගෙන බව සිහි තබා ගත යුතුය.
 
ඉතින් මා මිතුර. අප කුහකයන්‍ ය. ඔව්. අර කියන යමක් කරගත හැකි උබලට අපි කුහකයන්‍ ලෙස දැක්කාට මට පඩේකට වත් ගානක් නැත. එහෙත් මා  විශ්වාස කරන අයුරින්, ගල්බණ්ඩගෙ පුතාට නම් අප දෙවියන්‍ ය. එය අපට මහ මෙරක් තරම් වටී.
 
ඔව් මා මිතුර. අප නරි රැලකි. යමක් කරගත හැකි උබලට අප නරි වුවත්, එම අපහාසය මට ගූ බෙට්ටක් තරම් වත් වටින්නේ නැත. එහෙත් දුප්පත් ළමයට අපේ සද්දය, උන්ගේ පැහැදිලි මාර්ගය තනනා කස කාරයන් සේය. එය අපට මහ මෙරක් තරම් වටී.
 
ඔව් මා මිතුර. අප හිඟන්නන්‍ ය. පොහොසත් උබලට අපි ඉගන ගන්න විදිය හිඟාකෑමක් වගේ පෙනුනට මට හචිමක තරම් වත් ගානක් නැත. දුප්පත් ළමයින්ට අපි මාර්ගෝපදේශයක් වන්නෙමු. එය මට මුලු ලෝකෙටත් වඩා වටී.
 
 
ඉතින් මා මිතුර. කණ්නාඩියක් ඉස්සරහට ගිහින්, උබලම තමන්ගෙ හදවතට තට්ටු කරල අහල බලාපන් කරනා දෙය හරිද වැරදිද කියල.
 
SAITM එකේ ඉන්න සහෝදර සහෝදරියන්ට සැබැවින්ම ගැටලුවක් ඇත. හරි ආකරයෙන් නීත්‍යානුකූල ලෙස, සුදුසුකම් සපුරා තම අධ්‍යාපනය දෙනු වෙනුවට, ශේප් ගසා ඩිග්‍රි ඉවර කර ඇත. ඔවුන් ඉහේ රුදාවට කොට්ටය මාරු කරන්න යැයි කියන්න සේ, මෙඩිකල් කවුන්සිලය මාරු කරන්නයැයි හඩ නගති. ඉතින් ඔවුනට ලබා දිය හැකි විසදුම්,

1) ඔවුන්ගෙන් අය කරගත් මුළු මුදලම නැවත ඔවුනට ලබා දීම.
2) එම සිසුන්ට විදේශ අධ්‍යාපනය ලබා දීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම හෝ මාලබේ SAITM ආයතනය රජයට පවරා මුලුමනින්ම ගෙන ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම.
 
ලෙස පෙන්වා දිය හැක.
 
එසේ නම් ඔවුන් කළයුත්තේ, තව දුරටත් අපි සමඟ වාද නොකර, එලෙස කිරීමට තීන්දුවක් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටීමයි. 
තව දුරටත් මෙලෙස, මිනිසුන් රවටමින් රටේ සැමගේ අධ්‍යාපන අයිතිය නැති කිරීමට වෙර දරන කාලකණ්ණින් හට නිසි පාඩමක් ඉගැන්වීමය. 
ඔබලාව මෙතෙක් මුලා කළ පාලක පන්තියට, ඔබලාටද දෑස් ඇති බව පෙන්වීමය.
 
ඉතින් මා සොයුර. අප සැමගේම හිත තුල ඇති අරමුණ එකක් යැයි මම සිතමි. ඔබලාටද අවශ්‍ය නිදහසේ ඉගන ගැනීමය. අපටද අවශ්‍ය  අප ආ ගමන් මඟ ඇහිරීමට ඉඩ නොදී, මතු පරපුර වෙත දායාද කිරීමය. එසේ නම් අප සැමට අවශ්‍ය අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ශිත කර ගැනීමය.
 

ඉතින් ඔබ අප සියලුම දෙනා එකමුතු වී.. එකම අරමුණක් කරා පිය නැගුවොත්, ඔබත් අපත් යන මේ පරපුර, අනාගත උපදින දරුවන්ගේ වීරයන් බවට පත්වනු ඇත. අනාගත පරපුරේ අධ්‍යාපන අයිතිය සුරැකීමේ සතුට අපගේ මරණ මංචකයේදී සිතට සතුටක් එක් කරනු ඇත. අසරණ ළමුන් සිනාසෙන හඩ අසා අපටද සිනාසිය හැකි වනු ඇත. 
සැබැවින්ම මෙය අප සියලු දෙනා එක්ව ජයගත හැකි සරල සටණකි. සැමදා ජනතාව රවටමින් ඔවුන්ගේ දිවි සරි කරගන්නා දේශපාලකයන්ට ලබා දෙන හොඳ අතුල් පහරක් වන්නේය. ඔබත් අපත් එකම වේදිකාවක සිටිනු දැක්කොත් සැබවින්ම ඔවුන්ගෙන් බොහොමය, පපුව අල්ලන් වලපල්ලට යනු ඇත. මොකද, අප ඔවුන්ගේ පැවැත්ම බිඳළු බැවින ය.
ඉතින් නැවතත් පවසමි මා මිතුර. මෙය අප සියල්ල එක්වී ජය ගත හැකි සරල සටණකි. දෑත් බැඳ ඉදිරියටම යමු. සැමට අධ්‍යාපනය සුරකිමු.

~ජඩයා~